Events

  වාර්ශික සුහද හමුව

යුධෝපකරණ සංගමයේ වාර්ශික සුහද හමුව මෙවරද ඉතාමත් වර්ණවත් ලෙස දොඹගොඩ යුධෝපකරණ රෙජිමේන්තු මුලස්ථානයේ 2018/09/30 දින සංගමයේ ගරු සභාපති බ්‍රිගේඩියර් ජේ.පි.ඒ. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙවර සුහද හමුව සඳහා සාමාජික මහත්වරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සමග 250 ක පමණ සහභාගිවූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස එවකට රෙජිමේන්තු කර්නල් සේනා විධායක ධුරය හෙබවූ මේජර් ජෙනරාල් බිඑස් විදානගේ මහතා සහභාගී විය. මෙදින සුහද හමුවේදී සංගමයේ සාමාජික මහත්වරුන් විසින් ගරු සභාපතිතුමා වෙත පිරිනමන ලද ආචාර පෙළපාලිය මෙවර සරඹ භූමියෙන් බැහැරව පැවැත්වීම විශේෂත්වයක් මෙන්ම අලුත් අත්දැකීමක්ද විය. එසේම රෙජිමේන්තුවේ තූර්ය වාදක කණ්ඩායම විසින් පවත්වන ලද සරඹ සංදර්ශනය ඉතාමත් වර්ණවත් වූ අතර සියල්ලන්ගේම සිත් ඇදගත් දසුනක් විය.

ආචාර පෙළපාලිය හා සරඹ සංදර්ශනයෙන් අනතුරුව පැමිණි සියල්ලෝම තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව උත්සව ශාලාවට පැමිණ අසුන් ගන්නා ලදී. වර්ණවත්ව සකසන ලද උත්සව ශාලාව, වේදිකාව හා මියුරු සංගීතය සුහද හමුව වඩාත් වර්ණවත් කළේය.

චිරාගත සම්ප්‍රදායන්ට අනුකුලව පොල්තෙල් පහන් දල්වා සුහද හමුව ආරම්භ විය. මුලින්ම අප අතරින් වියෝවූ ආදරනියයන් වෙනුවෙන් විනාඩි 02 නිහැඬියාවකින් පසු සංගමයේ ගරු ලේකම්තුමා විසින් කැඳවීමේ නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසුව සංගමයේ ගරු සභාපති බ්‍රිගේඩියර් ජේ.පි.ඒ. ජයවර්ධන මැතිතුමා හට සභාව අමතන ලෙස ආරාධනය කරන ලදී. යුධෝපකරණ සංගමයේ අනාගත සැලසුම් හා විශේෂයෙන්ම සාමාජික සුබසෙත වෙනුවෙන් සංගමයේ දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ අතර මෙම විනෝද ජනක අවස්ථාවේ සතුට භුක්ති විඳීමට අවස්ථාව ලබාදෙමින් සිය කතාව අවසන් කරන ලදී.

මෙවර සුහද හමුවට ඉතා විචිත්‍ර සංදර්ශන නැටුම් ගැයුම් ඇතුලත් විය. මෙහි කැපිපෙනෙන අංගය වුයේ දෙරණ නාලිකාව මගින් විකාශය කෙරුණු ජෙෂ්ඨ පුරුවැසියන් සහභාගිවූ 60 + වැඩසටහනේ අවසන් වටයට ඉදිරිපත්වූ ගායන ශිල්පියෙකු වන ගාමිණී කෝරලගේ මහතා ගරු සභාපතිතුමාගේ පෞද්ලික ආරාධනය මත පැමිණීමයි. ඔහු විසින් ගයන ලද ජනප්‍රිය පැරණි ගීත සුහද හමුවේ කාගේත් සිත්ගත් අංගය විය. ඉතා ප්‍රියමනාප පෙනුමක් හිමි මොහු පැමිණසිටි සියල්ලෝම අමන්දානන්දයට පත් කරන ලදී.

සංගමයේ සාමාජිකයින් හා පවුල්වල සාමාජික සාමාජිකාවන් අතර පැවැත්වූ ගායනා තරඟයද ඉතා තියුණු මුහුණුවරක් ගත් කැපිපෙනෙන අංගයක් විය. මෙහි තරඟ විනිශ්වය සඳහා සහභාගී වුයේ, විශේෂ ආරාධිත ගායන ශිල්පී සහ සංගීත විශාරධවරියක්වූ ඔහුගේ දියණියයි. මෙම ගායනා තරඟය තියුණු මුහුනුවරක්ගත් අතර අවසන් වටය සඳහා තිදෙනෙකු තේරුණු අතර ප්‍රථම ස්ථානය සඳහා සංගමයේ සාමාජිකයෙකු වන විශ්‍රාමික බලලත් නිලධාරී කිර්ති සිල්වා මහතාත් දෙවන ස්ථානය සඳහා බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ උසස් පෙළ සිසුවියක් වන පාරමී වර්ණකුලාරච්චි මෙනවියත් පත්විය.

ගායනා තරඟය සුහද හමුවේ අවසන් අංගය වූ අතර දිවා භෝජනය අනතුරුව මෙවර සුහද හමුව අති සාර්ථක ලෙස නිමා විය.

———————————————————————-

සටහන:-

ලයනල් ගුණපාල , ගරු ලේකම් , ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ සංගමය